News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

උමාඔය ඛේදවාචකය - ජනතාවගේ ඔඩොක්කුවට තල්ලු කරයි

2017 Oct 09

උමා ඔය ව්‍යසනය හේතුවෙන් වැඩිම අවදානමට ලක් වී ඇති දික්ආරාව, දෝව ප්‍රදේශවල ජනතාවට ‘තමාගේ ආරක්ෂාව තාම ම සලසා ගන්නා ලෙස‘ ඇල්ල ප්‍රාදේශීය ලේකම්, බදුල්ල දිසාපතිවරයා ප්‍ර‍මුඛ රාජ්‍ය නිලධාරීන් විසින් ලැජ්ජා සහගතවූ ද, මිලේච්ඡ වූ ද දැන්වීමක් නියෝගයක් ලෙස නිකුත් කොට ඇත.  ඉදිරි මාස කිහිපයේ දී ඇති විය හැකි දේපල හා ජීවිත හානි සදහා වන්දි ගෙවීමේ වගකීමෙන් ගැලවීම හා ‘සිතා  මතා ජීවිත අනතුරක් සිදු කිරීමේ චෝදනාවෙන් ගැලවීම සදහා‘ ස්ථිර ලිඛිත සාක්ෂියක් ලෙස අනාගතයේ දී යොදා ගැනීමේ අරමුණින් ‘මරණ වරෙන්තුවක් වන්‘ මෙම ලිපිය නිකුත් කොට ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

රුපියල් මිලියන 400 කට වැඩි ප්‍ර‍මාණයක් සහන සැලසීම සදහා බදුල්ලට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.  නමුත්,  එම මුදලින් එකම තාවකාලික නිවසක් ඉදි නොකළ, එකම කුඩාරමක් හෝ ටකරං මඩුවක් සකස් කොට නැති, එකම බිම් අගලක් ජනතාව වෙත බෙදාදී නැති, එකම වැසිකිලියක් හෝ සදා දී නොමැති, එකම විකල්ප මාර්ගයක් හෝ සකස් කොට නැති, එකම නල ළිදක් හෝ ඉදි කොට  නොමැති, වගා සහන කන්න 3 කින් ගෙවා නැති පරිසරය ජනතාව අන්ත අසරණ භාවයට පත්ව ඇත.  එසේ තිබිය දී, මහවැලි අමාත්‍යාංශ ලේකම්, බදුල්ල දිසාපති, උමා ඔය ව්‍යාපෘති නිලධාරීන්, සහන කාර්යාලයේ නිලධාරීන් පවුල් 150 කට වැඩි පිරිසකට ‘වැසි වැටේ නම් ඉවත් වෙනු‘ යැයි කියති. බොර දිය නැගෙන විට කානු කපන්නට හා පස් කන්ඩි සවිමත් කරන්නට මුදල් ඇති නම් එම මුදලින් කුලී නිවසකට පදිංචියට යනු ඇත.  

තම වරද වසා ගැනීම සදහා රජයේ නිලධාරී ලබා දී ඇති උපදෙස් කිහිපයක් මෙසේය. 
වැසි වැටේ නම් අවධානයෙන් සිටීම, ගල් පෙරළීම, බොරදිය ගලායාම, බොරදිය උල්පත් ඇතිවීම වැනි සලකුණු ඇතිවන්නේ නම්,  
1.    වහා ආරක්ෂිත ස්ථාන වෙත යා යුතුය.  
2.    අවදානම් සහගත කණ්ඩි ස්ථාවරව සකසා ගත යුතුයි.

මේ ජනතාවට රජයේ අනුමත මාස 6 ක නිවාස කුලී දීමනාව වෙනුවට ලබා දී ඇත්තේ මාස 3 ක කුලියකි.  රු. 25,000 ක මුදලක් ගෙවී කුලී ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති නමුත් මේ දක්වාම එකම පුද්ගලයෙකුට හෝ එම මුදල් ලැබී නැත. රු. 15,000 කට බණ්ඩාරවෙල ආරක්ෂිත ස්ථානයක හරක් මඩුවක් හෝ ලබා ගනීම දුෂ්කරය.  මුලින් මාස 6 ක අත්තිකාරම් ලබා දෙනු ලැබූ නමුත්, මේ වන විට එය මාස තුන (3) දක්වා අඩු කර ඇත. මාස 3 ක අත්තිකාරම් මුදලකට කුලී නිවාස ලබාගත නොහැකිය.  

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ට අනුව බදුල්ලේ පවුල් 29,000 ක 145,000 කට වැඩි පිරිසක් අවදානම් කලාපයේ ජීවත්වෙති.  උමා ඔය බලපෑම ප්‍රදේශයේ පමණක් ඉදිරි මාස කිහිපයේ වැසි වැටේ නම් 14,000 කට වැඩි පිරිසක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 6 ක් ආශ්‍රිතව එකවර අවතැන් විය හැකිය. 

අවසන් මොහොතේ, සියලු පව් අසරණ ජනතාවගේ කර පිටින් තැබීමේ උත්සාහයක් ලෙස වැසි වැටේ නම්, බොර ජලය ගලයි නම් ඉවත් වන ලෙස නියෝගයක් නිකුත් කර දේපල හෝ වෙනත් හානි සිදුවන්නේ නම් එය ජනතාවගේ නොසැලකිල්ල නිසා සිදුවූ බව දැක්වීමේ උත්සාහයක් ඇත.  කඩා වැටෙන පස් කණ්ඩි ශක්තිමත් කර ගැනීම ජනතාවට පැවරීමත් මහ පොළොවේ පැලුම්වලට මැටි ගැනීම තරම්ම විහිළුවකි.  එක් දිනක වැස්සට දික්අරාවේ පමණක් ස්ථාන 60 කට වැඩි ප්‍ර‍මාණයක පස් කඩා වැටීම් වාර්තා වී ඇත. 

රාජ්‍ය නිලධාරි යාන්ත්‍ර‍ණයේ සැළසුම් සහගත නොතකා හැරීමක් හේතුවෙන් දැවැන්ත ව්‍යසනයක පාමුලට බදුල්ල දිස්ත්‍රික්කය රැගෙන ගොස් ඇත.  මාස 4 කට වැඩි කලක් දැන සිටි, අනතුරු හගවා තිබූ තත්වයක් ස්වභාවික හදිසි ආපදාවක් වන්නේ නැත.  එය දේශපාලනික අවශ්‍යතාව සදහා සැකසූ සැලසුම් ගහගත නිලධාරි කුමන්ත්‍ර‍ණය කි. 

Search News & Updates
Keyword
Date
Date