News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

බදුල්ල දිසාපති උමාඔය ගැන ‘ජනාධිපති‘ අන්දවයි.

2017 Oct 10

උමාඔය ව්‍යසනය හේතුවෙන් ඉවත් කළ යුතු බවට හදුණාගෙන රතු නිවේදන නිකුත් කර ඇති කිසිදු පවුලකට රජයේ තක්සේරුකරු විසින් යෝජනා කළ, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ රු. 25,000 දක්වා වන ගෙවල් කුළී දිමනාව මේ දක්වා එකම පුද්ගලයෙකුට හෝ ගෙවා නැත.  රු. 15,000 ක ගෙවල් කුලී දීමනාව රු. 25,000 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කළ ද, එම නියෝගය නොතකා බදුල්ල දිසාපතිවරයා මේ දක්වා ගෙවල් කුලී ලෙස ගෙවා ඇත්තේ රු. 15,000 ක උපරිමයක් පමණී.

මාස 6 ක නිවාස කුලී අත්තිකාරම් වෙනුවට මාස 3 ක අත්තිකාරම් ලෙස රු. 45,000 ක් පමණක් ගෙවීම හේතුවෙන් මේ වන විට පවුල් 150 කට වැඩි පිරිසක් ‘රතු නිවේදන කලාපයේ‘ මරණ වරෙන්තුව සමග ජීවත් වෙති.  ඔවුන්ට ‘වැසි වැටේ නම් ඉවත් වන ලෙස‘ රජය ලිඛිතව දැනුම් දී ඇත. 

එකම කුඩාරමක්, වැසිකිලියක්, ටකරං මඩුවක් හෝ ඉදිකිරීමට අසමත් වූ බදුල්ල පරිපාලනය මේ මිනිසුන්ට මරණ වරෙන්තුවක් දී යන්නට කියන්නේ අහවල් තැනකට දැයි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍ර‍ශ්න කරයි. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය බදුල්ල දිසාපති හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට අභියෝග කරන්නේ රු. 15,000 වැඩි නිවාස කුලියක් ගෙවනු ලැබූ උමා ඔය ව්‍යසනයට ගොදුරු වූ එකම පවුලක් හෝ ඇති නම් ඔවුන් නම් කරන ලෙසයි.

මහවැලි අමත්‍යාංශය රු. මිලියන 500 ක් මේ වන විට උමා ඔය සහන ලෙස බදුල්ලට යොමු කර ඇත. එම මුදලින් එකම කුඩාරමක්, ටකරං මඩුවක්, තාවකාලික නිවාසයක්, එකම නල ලිදක් ඉදි කර නැත. එකම අයෙකුට හෝ  රු. 25,000 ක වැඩි කළ නිවාස කුලී දීමනාව ගෙවා නැත. මේ පිළිබද කැබිනට් අනුමැතිය ලැබී මාස 3 ක් ගතවී ඇත.   නිවාස හානි වන්දි ගෙවීම සිදු කර ඇති නමුත් නිවාස ඉදිකිරීම සදහා එකම බිම් කොටසක් හෝ ලබාදී නැත. 

මි.මි. 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ නම් උමා ඔය විපතට පත් වන ජනතාවට ඉවත්කීරීමට රජයේ පාසල් 36 ක් මේ වන විට හදුණාගෙන ඇති නමුත් ඒවායේ වැසිකිලියක් හෝ ඉදි කිරීමට උමා ඔය සහන අරමුදල් වැය කර නැත.  නායයාම් හෝ ගිලා බැසීමක් සිදු වූ වහාම හමුදාව යොදවා ජනතාව ඉවත් කොට ඔවුන් අනාථ කදවුරු වෙත යොමු කිරීම හැර වෙනත් විකල්පයක් නිර්මාණය කිරීමට රජය මේ දක්වා අසමත්වී ඇත.
 

Search News & Updates
Keyword
Date
Date